HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අපේ රටේ ලස්සන අපට කලින් දුටු විලියම් හෙන්රි කේව්

මීට වසර 150කට පෙර අපේ රටේ සුන්දරත්වය ලොවට කී අපූරු මිනිසකු මෙරටට ආවේ ය. අපේ රටේ ලස්සන ඔහු අපට කලින් දුටුවේය. එදා තරුණ වියේ දී ම, නැවෙන් ආ ගමනේ දී, අපේ රටේ සුන්දරත්වය ඈත තියාම දුටු ඔහු ලංකාවට අසීමිත ලෙස ආදරය කරන්නට විය. ඒ බව ‘ගොල්ඩන් ටිප්’ නම් 1900 දී පළ කළ ඔහුගේ මුල් කෘතියෙන් ම හෙළි කළේය. ලංකාව නිසා, ඔහු ගත් කතුවරයෙකු, ඡායාරූප ශිල්පියකු, පුරාවිද්‍යා අධ්‍යයනය කරන්නෙකු ලෙස ජගත් කීර්තියක් දිනා ගත්තේ ය. ඔහු නමින් විලියම් හෙන්රි කේව් (Henry William Cave, 1854-1913) විය. 

විලියම් හෙන්රි කේව්

විලියම් හෙන්රි කේව් උපන්නේ 1854 පෙබරවාරි 23 වැනි දා එංගලන්තයේ නොදම්ටන්ෂයර් ප්‍රාන්කයේ බ්‍රැක්ලි ගම්මානයේ දීය. ඔහුගේ පියා විලියම් කේව් වූ අතර මව ලුසියා (විවාහයට පෙර විල්සන්) වුවාය. මූලික අධ්‍යාපනය මග්දලේනා පාසලෙන් ලබා ගත් ඔහු උසස් අධ්‍යාපනය ලැබුවේ ඔක්ස්ෆර්ඩ් ක්වීන්ස් කොලීජියෙනි. 

ඔහු ඒ අධ්‍යාපනය අතහැර 1872 දී එංගලන්තයේ සිට ලංකාවට ආවේ 18 හැවිරිදි වියේ දීය. ඒ එවකට කොළඹ ඇංග්ලිකන් බිෂොප්වරයා වූ රෙජිනෝල්ඩ් කොප්ලෙස්ටන්ගේ පුද්ගලික ලේකම් ලෙස සේවය කිරීම සඳහා ය.‍ බිෂොප්වරයාගේ පුද්ගලික ලේකම් ධුරයට අමතරව ඔහුට ඇංග්ලිකන් සභාවේ සඟරාව වූ ‘සිලෝන් දියෝකිසන්’ (Ceylon Diocesan) සඟරාවත් සංස්කරණය කිරීම භාර විය. එහි දී සිය රාජකාරියට වඩා ඔහුගේ සිත ගියේ පොත් මුද්‍රණයට, ප්‍රකාශනයට හා ඡායාරූප ශිල්පයටය. 

1876 දී බිෂොප්වරයාගේ අනුග්‍රහය ඇතිව කොටුවේ ඉහළ චැතම් වීදීයේ පොත් සාප්පුවක් ආරම්භ කළේය. එහි අලෙවි කළේ බයිබල්, ආගමික පොතපත, පූජා භාණ්ඩ, ආගමික සුරුවම් හා සංකේත ආදියයි. පසුව එහි සාර්ථකත්වය මත 1884 දී එච්. ඩබ්ලිව්. කේව් සහ සමාගම යනුවෙන් ව්‍යාපාරයක් ආරම්භ කළේය. පොතපත මුද්‍රණයට හා ප්‍රකාශනයට ‍පහසුකම් සහිතව ඇරඹුණු එහි පොත් අලෙවි හලක් ද එහි ආගමික පොතපත පමණක් නොව, සංගීත හා ක්‍රීඩා භාණ්ඩ ද, බිලියඩ් මේස, බයිසිකල් හා රික්ෂෝ ආදිය ද අලෙවි කරනු ලැබීය. එහි ගොඩනැඟිල්ල පිහිටා තිබුණේ අද මහ බැංකුව ඇති ස්ථානයේ ය. 1896 දී වර්තමානයේ බාරොන් ජයතිලක මාවතේ (එදා කුමාර වීදිය) අලුතින් ඉදි කරන ලද ගෆූර් ගොඩනැඟිල්ලට ඒ ව්‍යාපාරය ගෙන එනු ලැබීය. මුද්‍රණාලය ඇතුළු ප්‍රකාශන අංශය කොම්පඤ්ඤ වීදියේ ජස්ටිස් අක්බාර් මාවතේ පිහිටුවනු ලැබීය. 1918 දී මෝටර් රථ ගෙන්වා අලෙවි කරන්නට ද ඔහු පටන් ගත්තේ ය. ඔහු එංගලන්තයත් කොළඹත් අතර 17 වතාවක් නැවෙන් සංචාරය කරන්නට යෙදුණේය. 

ඔහු විවාහ වූයේ ලෝරා එමා ලෝන් (1856-1885) සමගය. විවාහය සිදු වූයේ 1880 පෙබරවාරි 7 වැනිදා සරේ ප්‍රාන්තයේ රිච්මන්ඩ් හිදීය. ඒ විවාහයෙන් දරුවන් තිදෙනෙකු ලැබුණු අතර, ඔවුහූ ලෝරා මේරි, කැතරීන් කැලනි හා සිසිල් ගෝඩ්න් නම් වූහ. ඔහුට අවුරුදු 32 පිරෙද්දී බිරිඳ එමා මිය ගිය අතර, ඔහු ව්‍යාපාර කටයුතු සහෝදරයන්ට හා බෑණාට පවරා ආපසු ලන්ඩනයට ගියේ වැඩි දුර ඉගෙන ගන්නා අටියෙනි. ඔහු එහිදී උපාධිය සම්පූර්ණ කළේය. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් කලා අංශයෙන් ඇම්. ඒ. උපාධිය ලබා ගත්තේ ය. ඉන්පසු ඔහුට ලන්ඩනයේ රාජකීය භූගෝල විද්‍යා සංගමයේ අනුගාමිකත්වයත් (FRGS), රාජකීය ආසියාතික සංගමයේ සාමාජිකත්වයත් (MRAS) හිමි විය. ඔහු 1913 ඔක්තෝබර් 28 වැනිදා සසෙක්ස් ප්‍රාන්තයේ බ්‍රිටන්හිදී මියගිය අතර එහි වුඩ්වේල් කනත්තේ දී මිහිදන් කරනු ලැබීය. 

හෙන්රි විලියම් කේව් නමට අතීත ලංකාව ගැන, ලංකාවේ සුන්දරත්වය ගැන, ලියූ ග්‍රන්ථ 07ක් තිබේ. 1893 සිට 1908 දක්වා ඉංග්‍රීසි බසින් විරචිත ලන්ඩනයේ පළ වී ඇති කෘති මේවා ය: (1) Picturesque Ceylon Vol. 1: Colombo and the Kelani Valley, 1893. (2) Picturesque Ceylon Vol. 2: Kandy and Peradeniya, 1894. (3) Picturesque Ceylon, Vol. 3. (4) Nuwara Eliya and Adam’s Peak, 1895. (4) The Ruined Cities of Ceylon: Illustrated with photographs taken by the author in the year, 1896. (5) Golden Tips: A Description of Ceylon and its Great Tea Industry, 1900. (6) The Book of Ceylon: Being a Guide to Its Railway System and an Account of Its Varied Attractions for the Visitor and Tourist, 1908. (7) The Ceylon Government Railway: A Descriptive and Illustrative Guide, 1909. මෙම කෘතීන්ගෙන් වැඩි හරියක් අන්තර් ජාලයෙන් කියවිය හැකිය. 

මේ කෘතීන්හි, ඔහු විසින් ගන්නා ලද පැරණි ලංකාවට අයත් දුර්ලභ ඡායාරූප රාශියක් දැක ගත හැකිය. ඒවා අතර අනුරාධපුරය හා පොළොන්නරුව නගර ප්‍රතිසංස්කරණයට පෙර වල් බිහි ව තිබූ ආකාරය ද දැක්වෙන ඡායාරූප ද වෙයි. මේ පොත් කීපයක පරිවර්තන සූරිය ප්‍රකාශකයන් විසින් පළ කර ඇත. 

= පර්සි ජයමාන්න

Post a Comment

0 Comments